Tuesday, 24 July 2018

පාඩම 05- lot size, volume, pips, leverage සහ spread යනු මොනවාද?

පාඩම 05- lot size, volume, pips, leverage සහ spread යනු මොනවාද?

අභිමතාර්ථ:

මෙම පාඩම අවසානයේදී ඔබට,

Lot size, volume, pips, leverage සහspread යන වචන වලින් හදුන්වන තත්වයන් පැහැදිලි කල හැකි වෙනවා.
Lot size සහ leverage මත trade එකක් සදහා තම ගිණුමෙන් ආයෝජනය වන මුදල ගණනය කල හැකි වෙනවා.

Forex Market එක කරනවා නම් ඔබ හොදින් දැනගත යුතු තවත් කාරණු කිහිපයක් තිබෙනවා. ඒවා නිසි පරිදි නොදැන FOREX වෙලදාම කරන්න අමාරුයි. ඒම කරුණු තමයි LOT SIZE, PIPS, LEVERAGE සහ SPREAD යනුවෙන් අදහස් කරන්නෙ මොනවාද යන්න තේරුම් ගැනීම.

Lot Size යනු කුමක්ද?

EURUSD යන currency pair එක මොහොතකට ගන්න. දැන් මෙම pair එකට අනූව කෙනෙකුට EUR හෝ එහෙම නැතිනම් USD හෝ මිල දී ගන්න පුළුවන්.  ගැටළුවක් එනවා කොපමණ ප්‍රමාණ වලින් ගත යුතුද කියලා. කෙනෙකුට පුළුවන්ද EUR 1 එකක් එහෙම නැත්නම් USD 1කක් මිල දී ගන්න. එහෙම ගන්න බැහැ. කෙනෙකුට ඕනෙ ඕනෙ ප්‍රමාණ වලින් මුදල් ඒකක මිල දී ගන්න බැහැ. ඒකට ක්‍රමයක් තිබෙනවා. ඒ ක්‍රමය තමයි මුදල් ඒකක මිල දී ගත යුත්තෙ lots වලින්. මෙම lots වලට අයත් වන මුදල් ඒකක සංඛ්‍යාවක් තිබෙනවා. අවම lot අගය තමයි ඒකක 1000ක් වීම. උපරිම lot අගය තමයි ඒකක 100,000 වීම. මේ lot size දෙකට අතර මැදිව තවත් lot අගයක් තිබෙනවා. ඒ අගය තමයි lot 10000.

එහෙමනම් මොකක්ද දැන් මේකෙ තේරුම කෙනෙක් currencies මිල දී ගන්නවා නම් එක්කො lot 1000 ක් ගන්න ඕනෙ එහෙම නැතිනම් lot 10000 හෝ lot 100,000 ගන්න වෙනවා. දැන් තෙරෙනවානෙ EUR 1 කක් ගන්න බැහැ අඩු ගානෙ EUR 1000 වත් ගන්න වෙනවා. ඒ වගේ තමයි USD 1කක් ගන්න බැහැ. අඩුම ගානෙ USD 1000ක්වත් ගන්න වෙනවා.

දැන් සිතන්නකො EURUSD pair එකේ USD 1000ක් මිල දී ගන්න Sell Order එකක් දමන්න රුපියල් කීයක් යනවාද? 1000 X 151.69 = Rs. 151,690 යනවා. (2016-12-28 දිනට ඩොලරයකට රුපියල් 151.69ක් වෙනවා) බලාගෙන ගියාම FOREX කෙරුවාව ලෙහෙසි නැහැ වගේ නේද? මොකද කුඩාම lot එකෙන් Order එකක් දමන්නත් රුපියල් 151690.00 යනවා. ශ්‍රී ලාංකික අපට මේ මුදල දරන්න පුළුවන් අගයක් නොවෙයි. මෙන්න මෙතනදී ශ්‍රී ලාංකික අපට Leverage යන සංකල්පය වැදගත් වෙනවා.

Leverage යනු කුමක්ද?

Leverage කියන්නෙ එක්තරා ණය අනුපාතිකයක් වෙනවා. මේ ණය අනුපාතිකය ලබා දෙන්නෙ broker විසිනුයි. Broker ආයත leverage ණය අනුපාත කීහිප ආකාරයකින් ලබා දෙනවා. ඒවා 1:100, 1:200, 1:500 සහ සමහර broker ආයතන තිබෙනවා 1:1000 පවා ලබාදෙන. මොකක්ද මේ අනුපාත වල තේරුම. අප මේ පිළිබදව විමසා බලමු.

හොදයි අපි ගමු 1:500 ණය අනුපාතිකය. මෙහි තේරුම තමයි කිසියම් ආයෝජනයකට යන සම්පූර්ණ මුදලෙන් 500 යෙන් පංගුවයි ආයෝජකයාට යොදන්න තිබෙන්නෙ ඉතිරි 499 කොටස broker ණයක් ලෙස ආයොජකයාට ලබා දෙනවා. කලින් මම පැහැදිලි කලා EURUSD pair එකෙන් USD 1000 ක් මිල දී ගන්න රුපියල් 151690.00 ක් යනවා කියලා. එහෙම නම් දැන් 1:500 leverage එක යටතේ USD 1000 ක් ගන්න ආයෝජකයාට වැය වන්නෙ ඉන් 500න් පංගුවක් පමණයි. ඒ කියන්නෙ 151690/500= රුපියල් 303.38 ක් පමණයි(ඩොලර් 2යි). ඉතිරි මුදල වන (151690-303.38) 151386.62 කක මුදල ආයොජකයා වෙනුවෙන් ආයෝජනය කරන්නෙ broker ආයතනයයි. දැන් ඔබට තේරෙනවානෙ leverage එක යටතේ රුපියල් 151690 වූ ආයෝජන මුදල රුපියල් 303.38කට අඩු වෙලා. තවත් විදියකින් පවසනවානම් ඩොලර් 1000 කට තිබූ ආයොජන මුදල ඩොලර් 2කට අඩුවෙලා.

දැන් ඔබට තේරෙන්න අවශ්‍යයි සාමාන්‍ය අයුරින් ගණනය කිරීමක් නොකෙරුවත් ඩොලර් 1000 (1000 lot) ක් ආයෝජනය කරන්න 1:500 leverage එක යටතේ ආයෝජකයාට වැයවෙන්නෙ $2 යි නම් $ 10000 (10000 lot) ආයෝජනය කරන්න ආයෝජකයාට වැය වන්නෙ $20 ක් පමණයි. ඒ වගේම ආයෝජකයාට $ 100000 (100000 lot) ආයෝජනය කරන්න වැය වන්නෙ $200ක් පමණයි කියලා.

මෙහි වැදගත්ම දේ තමයි ආයොජකයා ඩොලර් 2ක් ආයොජනය කලාට ඔහුට ප්‍රතිලාභ විදියට ලැබෙන්නෙ ඩොලර් 1000ක අයොජනයේ ප්‍රතිලාභයයි. Broker සතයක්වත් එයින් ලබා ගන්නෙ නැහැ. ඇත්තටම ශ්‍රී ලාංකික අපට මෙය කොතරම් වැදගත් වෙනවාද. මෙච්චර පහසු කමක් දී තිබියදීත් ඇයි අප ආයෝජනය සදහා බිය වන්නෙ. FOREX පිලිබදව හොදින් ඉගෙන ගෙන පත්තියන් උනාම ලෙහෙසියෙන් FOREX වෙලදාම කරන්න පුළුවන්.

මෙම leverage එක පිළිබදව තවත් වැඩිපුර කරණු මම වෙනම පාඩමකදී පහදලා දෙනවා. මොකද leveage එක සමග අවදානම් කලාපයක් තම FOREX ගිණුම තුල නිර්මාණය වෙනවා. මේ පිළිබදව නිවැරදිව දැණුවත් වූ විට ගිණුම තුල නිර්මාණය විය හැකි අවදානම් කලාපය මග හරවා ගන්න හැකියාව ලැබෙනවා.

PIP එකක් යනු කුමක්ද?

FOREX වෙලදාම online කිරිම පිණිස broker ආයතන program එකක් ලබා දෙනවා. ඒ program එක අපට brokerගේ වෙබ් අඩවියෙන් බාගත කරගන්න පුළුවන්. ඒ programs Metatrader 4 හෝ Metatrader 5 කියල හදුන්වනවා. Metatrader 4 වලදී කිසියම් currency pair එකක මූල්‍ය අනුපාතය දශමස්ථාන සතරක් දක්වාත් Metatrader 5 වලදී දශමස්ථාන පහක් දක්වාත් පෙන්නුම් කරනවා. නමුත් Metatrader 5 එතරම් ජනප්‍රිය නැහැ. ඒ නිසා මම ඒ ගැන කථා කරන්නෙ නැහැ.

ඉතින් pip එකක් කියන්නෙ මොකක්ද කියල දැන් බලමු Metatrader 4 වලදී pip එකක් කියන්නෙ දශමස්ථාන 0.0001 ක වෙනසක් වෙනවා. දැන් සිතන්න EURUSD වල මූල්‍ය අනුපාතය Metatrader 4 වල දී 1.0391 සිට 1.0401 ක් උනා කියලා දැන් එතකොට එතනදී කියනවා pip 10ක වෙනසක් ඇති උනා කියලා. ඒ වගේම සිතන්න EURUSD අනුපාතය 1.0391 සිට 1.0381 උනා කියල එතකොටත් pip වෙනස වෙන්නෙ 10යි.

මූල්‍ය අනුපාත වෙනස් වීමේ දී නිර්මාණය කරගෙන තිබෙන මෙම pip අගයේ වෙනස ඉතාම වැදගත් වෙනවා. මොකද pip අගය මත තමයි ආයෝජනය කරනු ලබන lot size එකට අනූව pip ඒකක 1කට  ලැබෙන ප්‍රතිලාභය හෝ පාඩුව තීරණය වන්නනෙ. පහත වගුව දෙස බලන්න.

Lot Size pip ඒකක 1 කට ලැබෙන වටිනාකම $ වලින්

1000 $ 0.1
10000 $ 1.0
100000 $ 10.0

ඒ අනූව EURUSD වල කලින් සදහන් කල මූල්‍ය අනුපාතය 1.0391 සිට 1.0401 දක්වා වෙනස් වූ විට අප දැන් දන්නවා එතන pip 10ක වෙනසක් උනා කියලා. මේ අවස්ථාවේ දී කෙනෙක් ආයජනය කල මුදල lot 1000 ක් නම් ඔහුගේ  ප්‍රතිලාභය වනුයේ 10 pips X $0.1 = $1.0 යි. ආයජනය කල මුදල lot 10000 ක් නම් ඔහුගේ  ප්‍රතිලාභය වනුයේ 10 pips X $1.0 = $10 යි. ආයජනය කල මුදල lot 100000 ක් නම් ඔහුගේ  ප්‍රතිලාභය වනුයේ 10 pips X $10 = $100 යි. 

ආයෝජකයෙකු ලෙස ඔබ මෙතනදී වටහා ගත යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ප්‍රතිලාභය රදා පවතින කාරණා දෙකක් තිබෙනවා කියලා. එකක් තමයි lot size එක. අනෙක තමයි pips සංඛ්‍යාව. අපගේ FOREX ගිණුමේ මුදල් යහමින් තිබෙනවා නම් ප්‍රතිලාභය සදහා බලපාන lot size එක අවශ්‍ය පරිදි වැඩි කරගෙන ප්‍රතිලාභය වැඩි කරගන්න අපට පුළුවන්. ඒ නිසා ඒ lot size නැමති හැන්ද තිබෙන්නෙ අපගේ අතේමයි.  නමුත් අනෙක් කාරණය වන pips සංඛාව තිබෙන්නෙ අපගේ පැත්තෙ නොවෙයි. එය රදා පවතින්නෙ තමා ලබාගෙන තිබෙන දැණුම ආයෝජනය කරල pips කීයක් එකතු කලාද යන කාරනය මතයි.

සාමාන්‍යයෙන් EURUSD currency pair එකේ දෛනික pip වෙනස pips 100 ත් 80 අතර වෙනවා. ඉතින් තමන් දන්න සියළුම ශිල්ප භාවිතා කර කෙනෙකුට පුළුවන් නම් ඉන් pips 25 ක් දවසක් තුල දී උපයා ගන්න. එවන් අයට පුළුවන්  10000 lot size ( එනම් 1:500 leverage යටතේ $20ක්) ආයෝජනය කර දෛනිකව $ 25ක් උපයා ගන්න. ඒ කියන්නෙ රුපියල් වලින් ආසන්න වශයෙන් 3750 ක් වෙනවා.

Volume size එක යනු කුමක්ද?
Volume size එක යනු lot size එකම හදුන්වා දීම සදහා භාවිතා කරන තවත් අංකිත ක්‍රමයක් වෙනවා. Metatrader 4 වල තිබෙන්නෙ lot size එක වෙනුවට Volume size එකයි. පහත වගුවෙන් ඔබට එය වටහා ගත හැකියි.

lot size volume size
1000 = 0.01
10000 = 0.10
100000 = 1.00

lot size එක භාවිතා කරනවාට වඩා volume size එක භාවිතා කරන එක ලේසියි. පහත දැක්වෙන වගුවෙන් volume size, Lot size සහ pip එකක අතර සම්බන්දතාවය ඔබට අවබෝධ කරගත හැකියි.

volume size lot size value per 1 pip

0.01 1000 $ 0.1
0.02 2000 $ 0.2
0.10 10000 $ 1.0
0.15 15000 $ 1.5
0.20 20000 $ 2.0
1.00 100000 $ 10.0
1.01 101000 $ 10.1
1.21 121000 $ 12.1
10.00 1000000 $ 100.0

මෙම වගුවෙන් ඔබ තේරුම් ගන්න බලන්න Metatrader 4 program එකෙන් ඔබ ආයෝජනය කරන මදල් ඒකකයේ volume size එක මත pip 1කට ලැබෙන ලාභය හෝ පාඩුව කොපමනද කියල. මේ අනූව තමන්ගේ ගිණුමේ තිබෙන මුදල් ප්‍රමාණය මත trade එකකට දමන volume size එක තීරණය කල යුතු වෙනවා. එසේ නොමැති වුවහොත් තම ගිණුම තුල අවදානම් කලාපයක් ඇතිවෙන්න පුළුවන්. (මෙම අවධානම් කලාපය පිළිබදව පසු පාඩමකදී මම පැහැදිලි කරනවා.

Spread එක යනු කුමක්ද?

Spread එක කියන්නෙ තමන් කරන ගනුෙදෙනුවක දී broker ලබා ගන්නා කොමිස් මුදලයි. මෙම කොමිස් මුදල තීරණය වන්නෙ කිසියම් currency pair එකක Bid සහ Ask price අතර pip අන්තරයයි.

උදාහරණයක් ලෙස EURUSD pair එක ගනිමු.

Bid price Ask price
EURUSD 1.0470 1.0472

Spread = Ask price – Bid price
= 1.0472 – 1.0470
= 0.0002

ඒ අනූව EURUSD currency pair එකෙහි spread එක pip 2 කක් වෙනවා.

දැන් මෙම spread එක ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?  හිතන්න දැන් ඔබ EURUSD currency pair එකෙන් 0.2 ක volume එකෙන් (20000 lots) Buy හෝ Sell order එකක් විවෘත කලා කියල. එතකොට spread එක pip 2කයි. එහෙම නම් 0.2 volume එකට pip 2 කට වෙන් වන මුදුල කොපමනද? $ 4.0 යි පැහැදිලිද. දැන් මොකද වෙන්නෙ ඔබ 0.2 volume වලින් trade එකක් open කල විට ඔබගේ ගිණුමෙන් $ 4.0 ක් කැපෙනවා. මෙම කැපෙන මුදල තමයි broker ගේ කොමිස් මුදල වෙන්නෙ. ඔබ 0.01 volume එකෙන් trade එකක් Open කල විට ඔබගේ ගිණුමෙන් $ 0.2 ක් කැපෙනවා කොමිස් මුදල ලෙස.

සමහර currency pair වල spread එක ලෙස pips 2 කක්, 3 නක්, 6 ක් ආදී ලෙස වෙනස් වෙනවා. මේ නිසා කිසියම් currency pair එකකින් trade එකක් විවෘත කිරීමට ප්‍රථම එම pair එකෙහි Ask සහ Bid prices අතර අන්තරය pips වලින් කොපමණද කියල ගණනය කර ගන්න.

Trade එකක දී කැපෙන මෙම කොමිස් මුදලට අමතරව වෙන කිසිම මුදලක් broker අය කරන්නෙ නැහැ. තමාගේ මුදල් ගිණුමෙන් withdraw කරන විටදී වත් කිසිම මුදලක් අමතරව අය කරන්නෙ නැහැ.

මෙම පාඩමේ දී පැහැදිලි කරන ලද  කාරණා නැවත වතාවක් කියවලා තේරුම් ගන්න බලන්න. හොද FOREX ආයෝජකයෙක් වෙන්න මෙම කරුණු ඉතා වැදගත් වෙනවා.

සාරාංශය:

Trade එකක් දැමීම සදහා යොදාගත යුතු සම්මත ඒකක අගයයන් lot size ලෙස හදුන්වනවා. එවැනි සම්මත ඒකක අගයයන් 3 නක් තිබෙනවා. ඒවා අඩු අගයේ සිට වැඩි එක දක්වා පිළිවෙලින් 1000, 10000, සහ 100000 වෙනවා.

Lot size එකම වෙනත් ආකාරයකින් හදුන්වා දෙන තවත් අංකිත ක්‍රමයක් Volume size ලෙස හදුන්වනවා. Volume අගයන් පිළිවෙලින් 0.01, 0.1 සහ 1.0 වෙනවා.

ඕනෑම currency pair එකක මූල්‍ය අනුපාතයේ අගයෙන් 0.0001 වටිනාකමක් pip 1එකක් ලෙස අර්ථ දක්වනවා. ඒ අනූව කිසියම් currency pair එකක අගය 1.2564 සිට 1.2574 දක්වා වෙනස් වූ විට එම currency pair එකෙහෙි වටිනාකම pips 10 කින් වෙනස් වුවා යැයි කියනවා.

අවම lot size එකෙන් trade එකක් open කරන්නත් ඒකක 1000 ක් ගන්න වෙනවා. EURUSD pair එකෙන් EUR හෝ USD මිල දී ගන්න නම් අවම ලෙස EUR 1000 ක් හෝ USD 1000ක් ගන්න වෙනවා. මේ සා විශාල මුදලක් සාමාන්‍ය පුදගලයෙකුට trade එකක් දැමීම සදහා ආයෝජනය කරන්න අපහසුයි. මේ නිසා broker ආයතනය අනුපාතයක් ලෙස ආයොජන මුදලට ණයක් ලබා දෙනවා. මෙවන් අනුපාත 1:100, 1:200, 1:500 හෝ 1:1000 ලෙස ලබා දෙනවා. මෙම අනුපාතය leverage ලෙස හදුන්වනවා.

දමනු ලබන සෑම trade එකකින්ම broker ආයතනය කොමිස් මුදලක් ලබා ගන්නවා. මෙම කොමිස් මුදල Ask සහ Bid prices අතර වෙනසේ pips අගයයි. මෙම pip අගය spread එක ලෙස හදුන්වනවා.

අභ්‍යාස:

1. Lot Size, Volume, pisp, Leverage සහ spread යන්නෙන් අදහස් කරන්නේ මොනවාද?
2. GBPUSD pair එකෙහි Bid price එක 1.2234 යැයි සිතන්න. 1:500 leverage යටතේ Volume 0.01 එකක Buy order trade එකක් දැමීම සදහා ගිණුමෙන් ආයෝජනය වන මුදල කොපමණද?
පාඩම 04- FOREX වෙළදපල තුල ගණුදෙනු කරන මූල්‍ය යුගල හදුනා ගනිමු.

අභිමතාර්ථ:

මෙම පාඩම අවසානයේදී ඔබට,

  • මූල්‍ය යුගලයන් (currency pair) සහ මූල්‍ය අනුපාතයන් හදුනාගත හැකි වෙනවා.
  • Major pairsසහ Minor pairs හදුනාගත හැකි වෙනවා.
  • යුගලයක තිබෙන base currency සහ counter currency මොනවාද යන්න හදුනාගත හැකියි.
  • Buy order සහ sell order මොනවාද යන්න මූලිකව හදුනා ගන්න පුළුවන්.

මූල්‍ය යුගලයන් (currency pair):

හොදයි වම් පසින් ඔබට පෙනෙන්නෙ FOREX වෙළද පල තුල ඔබට ගණුදෙනු කිරීම සදහා තිබෙන මූල්‍ය යුගලයි. ඔබ තෝරාගන්නා තැරැව්කාර සමාගම මත ඔවුන් ඔබට ලබා දෙන මෙම මූළ්‍ය යුගල සංඛ්‍යාව වෙනස් වෙන්න පුලුවන්. මම භාවිතා කරන්නෙ ඉන්දියාවේ nord forex ආයතනයයි. එම ආයතනය මට මූල්‍ය යුගලයන් 20 ක් දී තිබෙනවා. නමුත් මම ඉන් භාවිතා කරන්නෙ යුගල තුනක් වැනි සංඛ්‍යාවක්. 20ක් ලබා දන්නාය කියා ඒ සෑම යුගලයක් සම්බන්දව ගණුදෙනු කිරීමට යාම විශාල අවදානමක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා හොදින් අධ්‍යනය කල currency pair එකක් හෝ දෙකක් සමග පමණක් ගණුදෙනු කිරීම ඥාණවන්ත කමක් වෙනවා.

ඒ වගේම ඒ ඒ මූල්‍ය යුගලයන් වල විකුණුම් සහ ඉල්ලුම් මිල අතර අනුපාතයන් (Bid සහ Ask prices) දර්ශණය වෙනවා. රූපයේ දැක්වෙන්නෙ Nord Forex ආයතනය තිබෙන ගෝලීය කන්ඩාංකයේ GMT (Greenwich Mean Time) වෙලාවේ එනම් පාන්දර 04:31:56 අවස්ථාවේ දී (ලංකාවේ වෙලාවෙන් පාන්දර 09:01:56 ට පැය +04:30 ක වෙනසක් තිබෙනවා) ඉල්ලුම සහ සැපයුම අතර තිබූ මුල්‍ය අනුපාතයි.

ඇයි මේ currency යුගලයක් අවශ්‍ය වෙන්නෙ? අපි හිතමු ඔබට සීනි 1kg එකක් ගන්න රුපියල් 100 ක් අවශ්‍ය වෙනවා කියලා. එතනත් දැන් යුගලයක් තිබෙනවානෙ සීනි සහ රුපියල් යන යුගලය. සීනි 1kg එක රුපියල් 110වනහොත් ගත්තු සීනි 1kg එක 110 විකුනලා රුපියල් 10ක ලාබයක් ගන්නවා. ඒ කියන්නෙ යමක් ගන්න මුදල් අවශ්‍ය වෙනවා. ඉතින් දැන් EURUSD pair එක ගන්නකො. EUR යන currency එක ගන්න USD යන currency එක අවශ්‍ය වෙනවා. USD යන currency එක මිල දී ගන්න EUR යන currency එක අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි currency pairs අවශ්‍ය වෙන්නෙ.

Major සහ Minor Pairs:

මෙම යුගලයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ඒවා major pair සහ miner pair ලෙස හදුන්වනවා. Major pairs කියල කියන්නෙ ඩොලර් (USD) අයත්වන යුගල වලටයි. ඒ අනූව GBPUSD, EURUSD, USDJPY, USDCAD, AUDUSD, NZDUSD යන යුගල major pairs වෙනවා.

අනෙක් සියලුම යුගලයන් miner pairs වෙනවා. FOREX තුල ඉන්නා බහුතර ගැණුදෙනු කරුවන් major pairs සමග බහුලව ගණුදෙනු කරන්න කැමතියි. ඒකට හේතව තමයි FOREX තුල USD වලට ඉහල ඉල්ලුමක් තියෙන නිසා.

Base currency සහ Counter currency:

යුගලයක පළමුවෙන් තිබෙන currency එක base currency ලෙසත් දෙවනුවට තිබෙන currency එක counter currency ලෙසත් තමයි හදුන්වන්නෙ. ඒ අනූව GBPUSD යුගලයෙහි GBP currency එක base currency එක වෙනවා. USD currency එක counter currency එක වෙනවා. ඒ අයුරින් අනෙක් යුගල වලත් base currency සහ counter currency හදුනා ගන්න ඔබට පුළුවන් වෙන්න ඕනෙ.

Sell Orders සහ Buy Orders:

ඊ ලගට ආයෝජකයින් ලෙස අප දැනගත යුතු වැදගත් දෙයක් තිබෙනවා. ඒ තමයි මූල්‍ය යුගලයක තිබෙන currency වලින් තමනට කැමති currency එකක් මිල දී ගන්නත් මිල දී ගත් ඒ currency එක නැවත විකුනන්නත් පුළුවන්. උදාහරණයකට EURUSD currency pair එක ගනිමු. දැන් ආයොජකයෙකුට මෙම pair එකතුල තිබෙන EUR හෝ USD වලින් එකක් හෝ දෙකම හෝ මිල දී ගන්න පුළුවන්. EUR කියන්නෙ base currency එකයි. USD කියන්නෙ counter currency එකයි. Base currency මිල දී ගන්න නම් Buy Order එකක් විවෘත කර ගැනීමෙන් කර ගන්න පුළුවන්. ඒ වගේම counter currency මිල දී ගන්න නම් Sell Order එකක් විවෘත කරගන්න ඕනෙ. විවෘත කර ගන්නා ලද orders profit කල විට එම orders close කරනවා. Close කරනවා කියන්නෙ විකුනනවා කියන එකයි. කාගෙ හරි ඉල්ලුමකට ඒවා විකුනනවා කියන එකයි.

සාරාංශය:

FOREX broker කෙනෙක් හා සම්බන්ද වූ විට ගණුදෙනු කිරීම සදහා එම ආයතනය currency pairs 20 කට ආසන්න ප්‍රමාණයක් ලබා දෙනවා. නමුත් ගණුදෙනු කිරීම සදහා currency pair එකක් හෝ දෙකක් අධ්‍යනය කීරීම සුදුසුයි.

Currency යුගලයේ පළමු currency එක base currency ලෙසත් දෙවන එක counter currency ලෙසත් හදුන්වනවා.

කිසියම් currency pair එකක USD currency එක තිබෙනවා නම් එම යුගලය Major currency pair එකක් ලෙසත් USD currency එක නොමැති යුගලයන් Minor currency pairs ලෙසත් හදුන්වනවා.

Base currency එක මිල දී ගැනීම සදහා Buy Order එකකුත් Counter currency එක මිල දී ගැනීම සදහා Sell order එකකුත් විවෘත කල යුතු වෙනවා. විවෘත කල Orders close කල විට මිල දී ගත් මුදල් විකුනුවා වෙනවා.

අභ්‍යාස:

  1. currency pair වශයෙන් තිබෙන්නෙ ඇයි?
  2. Major සහ Minor currency යනු මොනවාද?
  3. Base currency සහ Counter currency යනු මොනවාද?
  4. Buy Order එකක් විවෘත කරනවා යනුවෙන් අදහස් කරන්නෙ කුමක්ද?
  5. මිල දී ගත් currency එකක් විකුනන්න අවශ්‍ය වුව හොත් කුමක් කල යුතුද?


පාඩම 03- FOREX වෙළදපල යනු කුමක්ද?

පාඩම 03- FOREX වෙළදපල යනු කුමක්ද?

අභිමතාර්ථ:

මෙම පාඩම අවසානයේදී ඔබට,

  • FOREX යන්න සෑදී තිබෙන ආකාරය පහදා දීමට හැකියාවක් ලැබෙනවා.
  • FOREX වෙළදපලේ ගණුදෙනු වන්නෙ මොනවාද යන්න පහදාදීමට හැකියාව ලැබෙනවා.

FOREX යනු Forign Exchange යන්න කෙටි කර දැක්වීමක් වේ. Forign Exchange යනුවෙන් සිංහලෙන් අදහස් කරන්නෙ විදේශීය මුදල් හුවමාරුව යන්න වේ. නමුත් මෙහි අදහස ලෙස ගත යුත්තෙ විදේශීය මුදල් ගනුදෙනු කිරීම යන්න ලෙසයි. මොකද ගනුදෙනුවකදී තමයි වෙළදපලක් නිර්මාණය වෙන්නෙ. එතකොට මෙම විදේශීය මුදල් ගනුදෙනු කරන්න වෙළදපලක් නිර්මාණය වෙන්න ඕනෙ. මෙම වෙළදපලට තමයි මූල්‍ය වෙලදපල කියල කියන්නෙ. ඉංග්‍රීසියෙන් money market කියලයි හසුන්වන්නෙ. තවත් වෙළදපලක් තියෙනවා කොටස් වෙළදපල කියල. නමුත් FOREX කියන්නෙ කොටස් වෙළදපලක් නොවෙයි. කොටස් වෙලදපලක් කියන්නෙ සමාගම් වල කොටස් මිල දී ගෙන ලාබ ඇති විටක දී විකුණන ක්‍රමයකටයි. නමුත් මූල්‍ය වෙළදපලක් කොටස් වෙළදපලකින් සම්පූර්ණයෙන්ම වෙනස්. මූල්‍ය වෙළදපලකදී අප මිල දී ගනු ලබන්නෙ කිසියම් රටක මුදල්. දැන් මෙය තරමක් දුරට අප උදාහරණයකින් වටහා ගන්න බලමු.

පළමුවෙන්ම මෙතනදී ඔබ යමක් තේරුම් ගන්න ඕනෙ. එය තමයි කිසියම් රටක මුදල් ප්‍රමාණයක් මිල දීල ගන්න වෙන්නෙ තවත් රටක මුදල් දීල කියන එක. ඒ කියන්නෙ මුදල් ඒකක වර්ග දෙකක් අවශ්‍ය වෙනවා. එනම් යුගලයක් අවශ්‍ය වෙනවා. FOREX වෙලදපලේ දී මෙම මුදල් යුගලයකට කියන්නෙ currency pair එකක් කියලයි. FOREX වෙළදපලේ currency pairs විශාල සංබ්‍යාවක් තිබෙනවා. පහත රූපය බලන්න.

හොදයි උදාහරණයකට අපි ඇමරිකාව ගනිමු.

ඇමරිකාවේ මුදල් ඒකකය ඩොලර් කියලයි හදුන් වන්නෙ. එයට කෙටියෙන් USD කියලයි කියන්නෙ. ලංකාවෙ මුදල් ඒකකයට රුපියල් කියලයි හදුන්වන්නෙ. එයට කෙටියෙන් LKR කියලයි කියන්නෙ.

හොදයි දැන් අපට රටවල් දෙකක මුදල් ඒකක තිබෙනවා. එක් වර්ගයක් USD අනෙක් වර්ගය LKR වෙනවා.

ඊ ලගට අපි තවත් කාරණයක් ගැන දැණුවත් වෙන්න ඕනෙ. ඒක තමයි මූල්‍ය අනුපාතය කියන එක. එක් රටක මුදල් ඒකකයක වටිනාකම වෙනත් රටක මුදල් ඒකකයේ වටිනාකමින් බොහෝ විට වෙනස් වෙනවා. මෙම වෙනස අනුපාතයක් ලෙසයි දක්වන්නෙ. මෙම අනුපාතය දැක්වීමේදී වටිනාකමක වැඩි මුදල් ඒකකයේ වටිනාකම අනෙක් මුදල් ඒකයෙන් බෙදනවා. USD වල වටිනාකම LKR වලට වඩා වැඩි නිසා USD / LKR ලෙසයි අනුපාතය ගන්නෙ. ඒ අනූව මෙම ලිපිය ලියන දිනයේදී එම අනූපාතය 149.82 ක් වෙනවා (USD/LKR=149.82). දැන් මෙම අනුපාතයේ තේරුම තමයි ඇමරිකානු ඩොලර් 1 ක් ගන්න ශ්‍රී ලංකා රුපියල් 149.82 ඕනෙ වෙනවා කියන එක. ඒ වගේම මෙම අනුපාතය දිනෙන් දින වෙනස් වෙනවා. (මූල්‍ය වෙළදපල තුලදී ගනුදෙනු වන මුදල් ඒකක වල අනුපාතයන් තත්පරයෙන් තත්පරය වෙනස් වෙනවා)

හොදයි අපි තවත් ටිකක් ගැඹුරට යමු.

මූල්‍ය වෙළදපලකදී මුල්‍ය අනුපාතයන් දෙකක් තිබෙනවා. එක් අනුපාතයකට කියනවා ගැණුම් මිල අනුපාතය (buying price, Bid price) කියල. අනෙක් අනුපාතයට කියනවා විකුණුම් මිල අනුපාතය (selling price, Ask price) කියල. හොදයි දැන් අපි තේරුම් ගමු ඇයි මුල්‍ය අනුපාත දෙකක් තියෙන්නෙ කියල.

උදාහරණයට නැවත ගියහොත් USD/LKR විකුණුම් මිල අනුපාතය 149.82 යි. USD/LKR ගැණුම් මිල අනුපාතය 146.06යි. එතකොට දැන් මෙතන තිබෙනවා මෙම අනුපාත දෙක අතර වෙනසක්. ඒ වෙනස රපියල් 3.76ක් වෙනවා (149.82-146.06=3.76). ඊ ලගට අපි දැන් බලන්න ඔනෙ ඇයි මේ විකුණුම් මිල සහ ගැණුම් මිල කියල දෙකක් තිබෙන්නෙ කියල.

මූල්‍ය ගණුදෙනුව කරන්න වෙන්නෙ අතරමැදියෙක් හරහා ඒ අතරමැදියා තමයි මෙම වෙළදපල නිර්මාණය කරල ගණුදෙනු කරුවන්නට පහසුකම් සපයන්නෙ. එම සේවාව සදහා ඒ අය යම් මුදලක් කොමිස් මුදලක් ලෙස සෑම ගනුදෙණුවක දීම අය කර ගන්නවා. මෙම අතරමැදියා ලෙස කටයුතු කරන්නෙ බොහෝ විට මූල්‍ය සමාගම්. ඒ සමාගම් වලට තැරුව්කාර සමාගම් (broker firms) කියලයි කියන්නෙ.
මෙම තැරැව්කාර සමාගම් තමයි විකුණුම් මිල සහ ගැණුම් මිල තීරණය කරන්නෙ.

හොදයි දැන් සිතන්න ABC කියල තැරැව්කාර සමාගමක් තිබෙනවා කියල. ඒ සමාගමට අනූව USD/LKR විකුණුම් මිල වෙන්නෙ 149.82 යි. USD/LKR ගැණුම් මිල වෙන්නෙ 146.06 යි. ඊ ලගට මේ තත්වය යටතෙ මූල්‍ය ගණුදෙනුවක් කරන්නෙ කොහොමද කියල බලමු.

හොදයි ඔබ හිතන්න ඇමරිකාවෙ ඉන්නවා Bush කියල මහත්මයෙක් ඔහු ලග තිබෙනවා ඩොලරයක්. ලංකාවෙ ඉන්නවා සරත් කියල මහත්මයෙක්. සරත් මහතා සිතනවා අද ඩොලරයක මිල රුපියල් 149.82 ක් උනාට තව මාසයකින් පමණ එම අගය රුපියල් 160.00 පමණ වෙයි කියල. මේ නිසා සරත් මහතා තම තැරැව්කාර සමාගමට කියනවා Bush ගේ ඩොලරය මිල දීල ගන්න කැමතියි කියලා. තැරැව්කාර සමාගම මොකද කරන්නෙ Bush ගෙන් ඩොලරය 146.06 ට මිල දී ගෙන එම ඩොලරය සරත්ට 149.82 ට විකුණනවා.
මෙම ගනුදෙණුවේදී තැරැව්කාර සමාගම රුපියල් 3.76ක කොමිස් මුදලක් තම ලාභය ලෙස තබා ගන්නවා.

දැන් මොහොතකට සිතන්න සතියක් යනතුරු මෙම මූල්‍ය අනුපාත වෙනස් වෙන්නෙ නැහැ කියල. දැන් සරත් තීරණයක් ගන්නවා ගත්තු ඩොලරය නැවත කාට හරි විකුනලා දාන්න. මේ අවස්ථාවේ දී තැරැව්කාර සමාගම කරන්නෙ සරත්ගෙන් ඩොලරය ගන්නෙ රුපියල් 146.06 කට. ඒ කරලා ඇමරිකාවේ කෙනෙකුට (Bush ම වෙන්න අවශ්‍ය නැහැ) ඩොලරය දෙන්නෙ රුපියල් 149.82කට. දැන් ඔබට තේරෙනවා තැරැව්කාර සමාගම දෙපැත්තෙන්ම රුපියල් 3.76ක කොමිස් මුදලක් ගන්නවා.

දැන් ඔබට තේරෙනවාද? ගැණුම් මිල (Buying price) සහ විකුණුම් මිල (Selling price) යන තත්වයන් ප්‍රකාෂ කරන්නෙ තැරැව්කාර සමාගමට සාපේක්ෂකව මිසක් තැරැව්කාර සමාගම සමග ගනුදෙණු කරන Bush සහ සරත් වැනි අයට සාපේක්ෂකව නොවෙයි.

දැන් අපි හිතමු සරත් කලින් හිතුවා වාගෙ ගැණුම් මිල (Buying price) රුපියල් 160.00 කට ගියා කියල. ඔන්න දැන් සරත්ට ඩොලරය විකුණන්න ඕනෙ. දැන් ඒ ඩොලරය විකුනලා දෙන්නෙ තැරැව්කාර සමාගමයි. නමුත් තැරුව්කාර සමාගම සරත්ගෙන් ඩොලරය ගන්නෙ කොමිස් මුදල අඩු කරල රුපියල් 156.24 කටයි (160.00-3.76=156.24). ඉතින් මෙතනදී දැන් ඔබට වැටහෙන්න අවශ්‍යයි මූල්‍ය අනුපාතයන් කාලය සමග වැඩි උනත් කාලය සමග අඩු උනත් ඒ සෑම අවස්ථාවකම තැරැව්කාර සමාගමේ ගැණුම් මිල විකුණුම් මිලට වඩා අඩුයි කියන එක.

ඉතින් සාමාන්‍යයෙන් තැරැව්කාර සමාගම ගනු ලබන ඒ කොමිස් මුදල සාධාරන මුදලක් වෙනවා ඒ මුදල ලබා නොගත්තොත් ඒ අයට වෙළදපල පවත්වාගෙන යන්න බැහැ. මොකද වෙළදපල නිර්මාණය කරල පවත්වාගෙන යන එකත් ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. ඒ සදහා වියදම් යනවා. තැරැව්කාර සමාගම් වෙළදපල පවත්වාගෙන ගියෙ නැතිනම් අප මිල දී ගත් මුදල් විකුණන්න ගැණුම් කරුවන් අපටම හොයා ගන්න වෙනවා. එහෙම තත්වයන් ඇති වුවහොත් අපට වෙනත් වැඩක් කරන්න බැරි වෙනවා. ඒ නිසා කොමිස් මුදලක් ගත්තත් මූල්‍ය වෙලදපල පවත්වාගෙන යනු ලබන තැරැව්කාර සමාගම් අපි ආශීර්වාදයක් ලෙසයි සලකන්න අවශ්‍ය. ඒ නිසා මූල්‍ය වෙලදපලට එන කෙනෙක් තම තැරැව්කාර සමාගම සමග හොද මිත්‍රත්වයකින් සහ අනෝන්‍ය අවබෝධයකින් යුතුව කටයුතු කරන්න ඔනෙ.

අභ්‍යාස :

1. වෙළදපලක් යනු කුමක්ද?
2. කිසියම් භාන්ඩයකට හෝ සේවාවකට සාධාරන මිලක් ලැබෙනුයේ කුමණ තත්වයක් තුලදීද?
3. පරගණකය තුල නිර්මාණය කර ඇති වෙළදපලවල් සදහා උදාහරණ දෙන්න?


පාඩම 02- වෙළද පොලක් යනු කුමක්ද?

පාඩම 02- වෙළද පොලක් යනු කුමක්ද?

අභිමතාර්ථ:

මෙම පාඩම අවසානයේදී ඔබට,

  • වෙළදපලක් යනු කුමක්ද යන්න පහදා දීමට හැකිවේ.
  • වෙළදපලක් තුල සාධාරන මිලක් ඇතිවන අයුරු පහදාදීමට හැකිවේ.
  • පරිගණකතුල නිර්මාණය කර ඇති වෙළදපලවල් කීපයක් සදහන් කිරීමට හැකියාවක් ලැබෙනවා.

වෙළදපලක් යනුවෙන් අදහස් කරනුයේ භාන්ඩ හා සේවා අලෙවි කිරීම සදහා විකුණුම්කරු සහ ගැණුම්කරු එකිනෙකා හමුවන ස්ථානයයි. මෙවැනි ස්ථානයකදී භාන්ඩයක් හෝ සේවාවක් අලෙවි වනුයේ විකුණුම්කරු සහ ගැණුම්කරු එකගවන මිලකටයි. එකගතාවයක් ඇතිවන්නෙ නැතිනම් ගනුදෙනුවක් සිදු වන්නෙ නැහැ. ඒ නිසා වෙළදපල තත්වයක් කුමණ අයුරින්ද හැසිරෙන්නෙ යන්න සරල ඉගියක් මින් ඔබට ලබා ගත හැකියි.

ඊ ලගට ඉල්ලුම් සැපයුම් න්‍යාය කියල න්‍යායක් වෙලදපලක් තුල ක්‍රියාත්මක වෙනවා. එයින් අදහස් වන්නෙ කිසියම් භාන්ඩයක හෝ සේවාවක ඉල්ලුම වැඩිනම් සහ නිෂ්පාදණය අඩුනම් ඒ භාන්ඩයේ හෝ සේවාවේ මිල ඉහල යනවා. මෙවන් තත්වයකදී විකුණුම්කරුගේ මිලට අවනත වන්නට ගැණුම්කරුට බොහෝ විට සිදුවෙනවා. ඒ වගේම කිසියම් භාන්ඩයක හෝ සේවාවක ඉල්ලුම අඩුනම් සහ නිශ්පාදනය වැඩිනම් ඒ භාන්ඩයේ හෝ සේවාවේ මිල පහල යනවා. මෙවන් තත්වයක් තුලදී ගැණුම්කරුට එකගවන්නට විකුණුම්කරුට සිදුවෙනවා. කිසියම් භාන්ඩයක් ඉල්ලුමට සරිලන පරිදි නිෂ්පාදණයයත් තිබෙනවානම් දෙදෙනාම එකග මිලකට තමයි භාන්ඩය අලෙවි වන්නෙ. මෙවන් තත්වයක් තුලදී තමයි භාන්ඩයකට හෝ සේවාවකට සාධාරන මිලක් ලැබෙන්නෙ.

වර්තමානය වනවිටත් බොහෝ අවස්ථාවල විකුණුම්කරු සහ ගැණුම්කරු භෞතික වශයෙන් වෙළදපලක් තුලදී එකිනෙකා මුනගැසී ගනුදෙනුව කරගැනීමට සිදුවෙනවා. නමුත් දැන් තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදන තාක්ෂණය දියුණුවීමත් සමග විවිධ වෙළදපලවල් පරිගණකය තුල නිර්මාණය වෙනවා. ඒ නිසා කොටස් වෙළදපලවල්, මුල්‍ය වෙළදපලවල්, වාහන වෙළදපලවල් සහ වෙනත් විවිධ වූ වෙළදපලවල් අද පරිගණකයතුල නිර්මාණය කරලා තිබෙනවා. මේ නිසා අද විවිධ ගණුදෙනු කිරීම සදහා විකුණුම්කරු සහ ගැණුම්කරු එකිනෙකා මුන ගැසෙන්නෙ පරිගණකයතුල තිබෙන අතුරු මුහුණතක් තුලිනුයි.

තවත් කාරණයක් තිබෙනවා අප දැනගත යුතු ඒක තමයි විකුණුම්කරු සහ ගැණුම්කරු එකිනෙකා සෘජුවම හමුවන්නෙ කලාතුරකින්. ඒ වගේම ඒ දෙදෙනා හමු වන්නෙ කිසියම් මිත්‍රත්වයක් යම් අයුරකින් ගොඩ නගාගෙන. නැතිනම් එකිනෙකා කල්තියා දැන හැදිනගෙන. නමුත් බොහෝ විට යම් ගනුදෙණුවක කරන්න අතරමැදියෙක් අවශ්‍ය වෙනවා. මේ අතරමැදියාට කියන්නෙ තැරැව්කාරයා (Broker) කියලයි. දැන් මෙම තැරැව්කාරයා කරන දේ තමයි කෙනෙකුට යමක් විකුණන්න අවශ්‍ය උනාම ඒ සදහා ගැණුම්කරුවන් කිහිප දෙනෙක් සොයා ගෙන එන එක. ඉතින් මේ සේවාවට තැරැව්කාරයා යම් සාධාරන මුදලක් ගනුදෙණුවට සහභාගි වූ දෙපාර්ශවයෙන්ම ලබා ගන්නවා. එයට කොමිස් මුදල (brokerage) කියලයි කියන්නෙ. නමුත් දැන් මේ වගේ ගනුදෙණු සිදු වන්නෙ තැනින් තැන. නිශ්චිත තැනක් නැහැ. බොහෝ විට ගනුදෙණුකරුවන්ට පහසු තැනක් මේ සදහා තෝරා ගන්නවා.

නමුත් දැන් වෙලදපලක් උනාම එතන වෙනසක් තිබෙනවා. එතන තැරැව්කාරයන් කිහිප දෙනෙක් සහ ගනුදෙණුකරුවන් විශාල සංඛ්‍යාවක් ඉන්න නිශ්චිත තැනක් වෙනවා. බොහෝ විට තැරැව්කාරයන් වෙළදපල පවත්වාගෙක යන්නෙ ගනුදෙණුකරුවන්ට පහසු ස්ථානයක.

ඉතින් දැන් FOREX වෙළදපලද පවත්වාගෙන යන්නෙ පරිගණක තුල, ජංගම දුරකථන (smart phoneඑකක් විය යුතුයි) තුල, ipad සහ tablet වැනි ඉලෙක්ට්‍රොනික උපාංග තුල නිර්මාණය කර තිබෙන වැඩසටහනක් (program) හරහායි. එතකොට FOREX වෙළදපලේ දී ගණුදෙනු කරුවන් වෙළදපල සමග සම්බන්ද වන්නෙ මෙම වැඩසටහන හරහායි. මෙම වැඩ සටහන තම පරිගණකයට ලබා දෙන්නෙ ඔබ විසින් තෝරා ගන්නා තැරැව්කාර සමාගමයි. මේ නිසා අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි ඕනෑම තැනක සිට එම වැඩසටහන හරහා ඔබට FOREX වෙළදපල හෙවත් මූල්‍ය වෙළදපල සමග ගණුදෙනු කිරීමට හැකියාවක් තිබෙනවා.

ඉතින් ඔබත් FOREX හෙවත් මූල්‍ය වෙළදපල සමග ගනුදෙනු කරන්න සිතනවා පහත සදහන් දේවල් ඔබට අවශ්‍ය වෙනවා.

1. පරිගණකයක් හෝ smart ජංගම දුරකථනයක්.
2. අන්තර්ජාල පහසුකම අවශ්‍ය වෙනවා.
3. හොද තැරැව්කාර සමාගමක ලියාපදිංචි වෙන්න සිදුවෙනවා.
4. අඩුම ගානෙ ඩොලර් 100 ක මුදලක් අවශ්‍ය වෙනවා.
5. වැදගත්ම දේ තමයි FOREX වෙළදපල පිළිබදව නිසි දැණුම අවශ්‍ය වෙනවා.
6. සැලකිය යුතු කාලයක් මේ සදහා යොදවන්නත් වෙනවා.
7. ඉතා ඉහල ඉවසීමක් සහ බුද්ධියත් අවශ්‍ය වෙනවා.

හොදයි ඊලග පාඩමේදී FOREX වෙළදපල යනු කුමක්ද යන්න තව දුරටත් සොයා බලමු.

අභ්‍යාස :

1. වෙළදපලක් යනු කුමක්ද?
2. කිසියම් භාන්ඩයකට හෝ සේවාවකට සාධාරන මිලක් ලැබෙනුයේ කුමණ තත්වයක් තුලදීද?
3. පරගණකය තුල නිර්මාණය කර ඇති වෙළදපලවල් සදහා උදාහරණ දෙන්න?